වැලිඔය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
Slide 1
Slide 2
Slide 3
Slide 4

අපගේ දැක්ම

“නූතන තාක්ෂණයට හා අවශ්‍යතාවන්ට අනුගත වෙමින් විශිෂ්ඨතම මහජන සේවා සපයන ආයතනය බවට පත්වීම ”

වැලිඔය කොට්ඨාසයේ ජනගහන තොරතුරු

9

ග්‍රාම නිලධාරී වසම්

28

ගම්මාන

4275

පවුල් ඒකක

11702

ජනගහනය

5775

පිරිමි

5927

ගැහැණු

අවසන් යාවත්කාලීන කිරීම 2024-12-23 09:43:26

වැලිඔය ගැන

වැලිඔය

පදවිය වැවට පිවිසෙන විට මොරඔය ලෙස හැඳින්වෙතත් වැවෙන් පිටවන විට මා ඔය ලෙස හැඳින්වෙන, අවසානයේ කෝකිලායි කලපුව වෙත ගලා බසිනා ප‍්‍රදේශයේ පවත්නා ප‍්‍රධාන ඔය හරහා ඉදි කර ඇති ඓතිහාසික ගල් පාලමේ නටඹුන් කොටසට ආසන්නව වැලිඔය බලසේනා මූලස්ථානය පිහිටා ඇත. වැලිඔයට පිවිසීමට සිදුවන්නේ මෙම මූලස්ථානය හරහා ය. ඒ සඳහා අනුරාධපුර සිට පැමිණ මැදවච්චිය කැබිතිගොල්ලෑව පදවිය හා පරාක‍්‍රමපුර පසු කර පැමිණීමට සිදු වේ.

නම ලැබීම

මා ඔය හෙවත් මොර ඔය හරස්කර පදවිය වැව ඉදිකොට ඇත. මා ඔය පහල කොටස ඔස්සේ පදවිය වැවේ පිටාර ජලය කෝකිලායි කලපුව වෙත ගෙනයයි. වැලිඔය, මා ඔය සහ මානල් ආරු ගංගා නිම්න දෙකෙන් පෝෂණය වන ඉතා සශ‍්‍රීක භූමියකි. මනල් ආරු හෙවත් මනලාරු, නයාරු කලපුවෙන් මුහුදුට එකතු වේ. එබැවින් නයාරු ලෙස ද මෙම මනලාරු ගංගාව හැඳින්වේ. මෙම ගංගාව පාදක කරගෙන වැලිඔය ලෙස මෙම ප‍්‍රදේශය නම්කර ඇත. දෙමළෙන් මනල් යනු ‘වැලි’ ය. ආරු යනු ‘ඔය’ යි. එබැවින් මනලාරු (මනල් + ආරුඑ) යනු සිංහලෙන් වැලිඔයයි.

හැඳින්වීම

ශ‍්‍රී ලංකාවේ උතුරට යන්නට වවුනියා, මුලතිව්, ත‍්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත‍්‍රික්ක වලින් මැදි වූ ඉහත කී අනුරාධපුර හැර අනෙක් දිස්ත‍්‍රික්කවල කොටස් එකතු කරමින් අරම්භ කර ඇති ග‍්‍රාම නිළධාරී කොට්ඨාශ 09 කින් සමන්විත වූ මුලතිව් දිස්ත‍්‍රික්කයට පරිපාලනය පවරා ඇති ප‍්‍රදේශය වැලිඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලෙස හඳුන්වයි. මුහුදු මට්ටමේ වඩාත් ළඟින් පිහිටි මෙම ප‍්‍රදේශය කඳුගැට, ඔය, වන සම්පත් අතින් මහත් සම්පත් උසුලන ඓතිහාසික පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂවලින් සහ රතු පසකින් යුත් සාර වූ බිමකි. පදවිය වැවෙන් පිටාර ගලන ජලයත් මා ඔයෙන් ගලනා ජලයත් එක්ව වැලිඔය ලෙස ගලනා ඔය නිම්නය ආශ‍්‍රිතව ඇති ජනාවාස පිළිබඳව නිශ්චිත පුරා විද්‍යාත්මක කරුණු හමු නොවේ. රතු මිශ‍්‍ර පසින් හා හරිත වර්ණයෙන් දිදුළන වනාන්තරයකින් හෙබි වැලිඔය නිම්නයේ මෑත කාලීන ඉතිහාසය 1983න් පසු ඇති වූවකි. 1983 වර්ෂයෙන් ඇරඹි ජනපදකරණයත් 1988 මහවැලි ව්‍යාපාරය ලෙස සංවර්ධන කටයුතු ඇරඹීමත් සමග වර්තමානයේ වැලිඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලෙස හැඳින්වේ.

වර්තමානයට එළඹුම.

මෑතකාලීන ඉතිහාසය දෙස බලන විට 1950 දශකයේ අවසාන වසර කිහිපයත් 1960 දශකයේ ආරම්භක වසර කිහිපයත් වැලිඔය ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාව ලෙස හඳුනාගත හැකි ය. කෙසේ වුවත් පදවි ව්‍යාපාරයේ ජනතාව එගොඩ යනුවෙන් හැඳින්වූ මෙම ප‍්‍රදේශය වැලිඔය ලෙස කරලියට පැමිණෙන්නේ 1984 න් පසුව ය. අවිධිමත්ව ආරම්භ වන වැලිඔය ව්‍යාපාරය විධිමත් ජනපද ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීමේ ක‍්‍රියාවලිය සුවිශේෂ අවස්ථා දෙකක් ඔස්සේ විග‍්‍රහ කළ හැකි ය. එනම්.

එසේ ම පදවිය ව්‍යාපාරයේ ජනයා හේන් ගොවිතැන් සඳහා සංක‍්‍රමණය වීමත් සිදුව තිබුණි. 1979 න් පසු දමිළ ජාතිකයන් හා සිංහල ජාතිකයන් අතර සුහදත්වය ක‍්‍රමයෙන් අඩු වූ අතර දමිළ ව්‍යාපාරිකයන්ට බදු දුන් ඉඩම්වල බදු කාලය සම්පූර්ණයෙන් අවසන්ව තිබූ නමුත් එකී ඉඩම් නියමිත පරිදි රජයට ආපසු බාර දී නොතිබුණි. 1984 වන විට රටේ ආරක්‍ෂක වාතාවරණය අයහපත් ව පැවතුන අතර ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් 1984 ජනවාරි මාසයේ දී වැලිඔය ව්‍යාපාරය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. ඊට සමගාමීව ජනාවාසකරණය ද සිදුවිණි. 1984 ජූනි මාසයේ දිඹුලාගල නායක ස්වාමින් වහන්සේ විසින් රැගෙන ආ පිරිසක් නිකවැව හා ඇතාවැටුණුවැව ගම්මානයන්හී තාවකාලික පැල්පත් සාදා පදිංචි කරවීම සිදුවිය. වැලිඔය ව්‍යාපාරය තුළ මුල් පදිංචිකරුවන් වන්නේ එම පිරිසයි. 1984 අගෝස්තු 15 දින වැලිඔය ජනපද ව්‍යාපාරයක් ලෙස අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීමත් සමගම ඉඩම් සංවර්ධනය හා පදිංචි කරවීම ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතට පත් කෙරුණි. අවිධිමත්ව ඇරඹි මෙම ව්‍යාපාරයට විධිමත් භාවයක් ලැබුනේ මෙමගිනි. ඉඩම් කටයුතු ව්‍යාපාර අධිකාරිවරයකු යටතේත් ඉඩම් මැනුම් කටයුතු මිනින්දෝරු දෙපාර්තමේන්තුව යටතේත් සිදු විය. 1984 අගෝස්තු සැප්තැම්බර් මාසවල දී ඇහැටුගස්වැව හා කල්‍යාණපුර ගම්මානත් 1985 ජනවාරි මාසයේ දී ගජබාපුර, මොණරවැව හා කල්‍යාණපුර iii පියවරත් (හැටේ කෑල්ල) 1988 ජනකපුර ත් පවුල් පදිංචි කරවීම සිදු කෙරුණි. මෙලෙස වැලිඔය ව්‍යාපාරය තුළ 1988 වන විට පවුල් 3364 ක් පදිංචි කර ඇත. 1988 අප්‍රේල් මස පළමු වන දිනෙන් පසු වැලිඔය සංවර්ධන කටයුතු ‘එල් කලාපය’ නමින් ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියට පවරා දෙන ලදී. 1984 වර්ෂයේ සිදු වූ නිදහස් සිරකරුවන් ඝාතනයේ සිට 1985, 1986, 1999 වසරවල සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාර නිසා ගජබාපුර හා මොණරවැව ගම්මාන අහිමි වීමත් සිදු විය.