වැලිඔය
පදවිය වැවට පිවිසෙන විට මොරඔය ලෙස හැඳින්වෙතත් වැවෙන් පිටවන විට මා ඔය ලෙස හැඳින්වෙන, අවසානයේ කෝකිලායි කලපුව වෙත ගලා බසිනා ප‍්‍රදේශයේ පවත්නා ප‍්‍රධාන ඔය හරහා ඉදි කර ඇති ඓතිහාසික ගල් පාලමේ නටඹුන් කොටසට ආසන්නව වැලිඔය බලසේනා මූලස්ථානය පිහිටා ඇත. වැලිඔයට පිවිසීමට සිදුවන්නේ මෙම මූලස්ථානය හරහා ය. ඒ සඳහා අනුරාධපුර සිට පැමිණ මැදවච්චිය කැබිතිගොල්ලෑව පදවිය හා පරාක‍්‍රමපුර පසු කර පැමිණීමට සිදු වේ.
නම ලැබීම
මා ඔය හෙවත් මොර ඔය හරස්කර පදවිය වැව ඉදිකොට ඇත. මා ඔය පහල කොටස ඔස්සේ පදවිය වැවේ පිටාර ජලය කෝකිලායි කලපුව වෙත ගෙනයයි. වැලිඔය, මා ඔය සහ මානල් ආරු ගංගා නිම්න දෙකෙන් පෝෂණය වන ඉතා සශ‍්‍රීක භූමියකි. මනල් ආරු හෙවත් මනලාරු, නයාරු කලපුවෙන් මුහුදුට එකතු වේ. එබැවින් නයාරු ලෙස ද මෙම මනලාරු ගංගාව හැඳින්වේ. මෙම ගංගාව පාදක කරගෙන වැලිඔය ලෙස මෙම ප‍්‍රදේශය නම්කර ඇත. දෙමළෙන් මනල් යනු 'වැලි' ය. ආරු යනු 'ඔය' යි. එබැවින් මනලාරු (මනල් + ආරුඑ) යනු සිංහලෙන් වැලිඔයයි.
හැඳින්වීම
ශ‍්‍රී ලංකාවේ උතුරට යන්නට වවුනියා, මුලතිව්, ත‍්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත‍්‍රික්ක වලින් මැදි වූ ඉහත කී අනුරාධපුර හැර අනෙක් දිස්ත‍්‍රික්කවල කොටස් එකතු කරමින් අරම්භ කර ඇති ග‍්‍රාම නිළධාරී කොට්ඨාශ 09 කින් සමන්විත වූ මුලතිව් දිස්ත‍්‍රික්කයට පරිපාලනය පවරා ඇති ප‍්‍රදේශය වැලිඔය ප්රාදේශීය ලේකම් කොට්ඨාශය ලෙස හඳුන්වයි. මුහුදු මට්ටමේ වඩාත් ළඟින් පිහිටි මෙම ප‍්‍රදේශය කඳුගැට, ඔය, වන සම්පත් අතින් මහත් සම්පත් උසුලන ඓතිහාසික පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂවලින් සහ රතු පසකින් යුත් සාර වූ බිමකි.
වර්තමානයට එළඹුම
මෑතකාලීන ඉතිහාසය දෙස බලන විට 1950 දශකයේ අවසාන වසර කිහිපයත් 1960 දශකයේ ආරම්භක වසර කිහිපයත් වැලිඔය ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාව ලෙස හඳුනාගත හැකි ය. කෙසේ වුවත් පදවි ව්‍යාපාරයේ ජනතාව එගොඩ යනුවෙන් හැඳින්වූ මෙම ප‍්‍රදේශය වැලිඔය ලෙස කරලියට පැමිණෙන්නේ 1984 න් පසුව ය.